ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය විසින් ගාසා යුද්ධය අවසන් කිරීමේ සාම සැලැස්මේ පළමු අදියරට අත්සන් තැබූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, සාම සැලැස්මේ පළමු අදියර යටතේ ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල් සිරකරුවන් 48 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධානාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බවයි . පසුව, සියලුම ප්‍රාණ ඇපකරුවන් කඩිනමින් නිදහස් කිරීමක් සිදුවනු ඇති බවත්, කල්පවතින සාමයක් කරා යන පළමු පියවර ලෙස ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම ඉදිරියේදී සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීමට නියමිත බවයි. ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කළහොත් ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදා පැය 24ක් තුළ ඉවත් කර ගැනීමට හැකියාව පවතින බවද එම වාර්තාවල සඳහන්වේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීම සඳහා සති අන්තයේදී මැද පෙරදිග සංචාරයක නිරත වීමට නියමිත බවයි. ගාසා යුද්ධය නතර කිරීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වක්‍ර සාකච්ඡා ඉකුත් දා ආරම්භ වුණේ ඊජිප්තුවේ ෂාර්ම් එල් ෂෙයික් නගරයේදීයි.