2015 ජනාධිපතිවරණ සමයේ කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදා දීමෙන් රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ විත්තියේ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම ලබන නොවැම්බර් මස 21 වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (ඔක්තෝබර් 10) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, නඩුවේ විත්තිකරුවන් වන්නේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අයයි. අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද තවත් නඩුවකට අදාළව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය අද දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් සහ නලින් ලද්දුව හෙට්ටි මහත්වරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, පැමිණිල්ල විසින් තවමත් ලබා දීමට නියමිත ලේඛන විත්තියට ලැබී නොමැති බවයි. ඊට ප්‍රතිචාර ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා දන්වා සිටියේ, අදාළ ලේඛන මේ වන විට අධිකරණ කාර්යාලයට භාර දී ඇති බවත්, විත්තියට ඒවා එම කාර්යාලයෙන් ලබාගත හැකි බවත්ය. 2014 වසරේ ඔක්තෝබර් 02 වන දින සහ දෙසැම්බර් 14 වන දින අතර කාලසීමාව තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කාර්යාල වෙත බෙදා දීම සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 14,000ක් මිල දී ගැනීම හරහා සතොස ආයතනයට අයත් රුපියල් 39,061,290.71ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු පවරා ඇත. මෙම නඩුව සඳහා ලේඛන 11ක් නඩු භාණ්ඩ ලෙසත්, සාක්ෂිකරුවන් 42ක් ලෙසත් නම් කර තිබේ.