ඉදිරියේ පැවැත්වීමට යෝජිත පළාත් සභා මැතිවරණය නොපවත්වා, පළාත් සභා ක්‍රමයම අහෝසි කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන ලෙසට ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පාර්ශ්වයෙන් ආණ්ඩුවේ ඉහළ දේශපාලන අධිකාරියට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ. ජවිපෙ ප්‍රධාන තර්කය වී ඇත්තේ පළාත් සභා විසුරුවා හැර වසර පහකට වැඩි කාලයක් ගත වුවද, රටේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට එය බාධාවක් වී නොමැති බවයි. ඔවුන්ගේ අදහස වී ඇත්තේ, ජනතා මුදල් අපතේ යවන සහ ජාතික ධනයෙන් විශාල මුදලක් වෙන්වන පළාත් සභා 'සුදු අලියෙක්' බව සනාථ කිරීමට මෙම අවස්ථාව ඵලදායී ලෙස යොදාගත හැකි බවය. ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් පොරොන්දු වූයේ බලයට පත්වී වසරක කාලයක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවයි. එහෙත් සීමා නිර්ණය කටයුතු අවසන් වී නොමැති වීම සහ මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොතිබීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වී ඇත. කෙසේ වෙතත්, විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විශ්වාසය පළ කළේ ඉදිරි වසරේ (2026) මුල් මාස හය ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බවයි. නමුත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ ලබන වසර අවසානයේදී මැතිවරණය පැවැත්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවය. පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ කඩිනමින් පවත්වන ලෙස දේශපාලන පක්ෂ රැසක් දැනටමත් ආණ්ඩුවෙන් ඉල්ලීම් කර ඇත. එසේම, රටේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉන්දියාව ඇතුළු බටහිර රටවල් රැසක්ද ආණ්ඩුවට දැඩි බලපෑම් එල්ල කරමින් සිටියි. මීට පෙර වසරේ අයවැයෙන් පළාත් සභා සඳහා වෙන්කරන ලද මුදල් සංවර්ධන කටයුතු සඳහා යොදවා නොමැති අතර, වර්ෂය අවසන් වන විටත් එම මුදල්වලින් සියයට විස්සකට අඩු ප්‍රතිශතයක් වැය කර ඇති බව දිස්ත්‍රික් සංවර්ධන සභාවලදී සහ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අනුව ගෙන එන ලද දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා මෙරට ස්ථාපිත කරන ලදී.