භයානක සූකර උණට තිත තියන්න ගෙනා අති විශේෂ ගැසට් නිවේදනය

මෙරට විවිධ ප්‍රදේශවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ (African Swine Fever - ASF) රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නියෝගය ඔක්තෝබර් 03 වන දින සිට ක්‍රියාත්මක වේ. 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රය මඟින්, ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා 'අවදානම් ප්‍රදේශයන්' ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම, ඌරන් ද 'රෝග අවදානම් සතුන්' ලෙස නම් කර තිබේ. මෙම ගැසට් පත්‍රය රෝග තත්ත්වය අනුව කාලය දීර්ඝ කිරීමේ හැකියාව සහිතව, නිකුත් කළ දින සිට මාස 03කට නොවැඩි කාලයක් සඳහා වලංගු වේ. සූකර උණ රෝගය අවදානම් ප්‍රදේශවලට සීමා කිරීමට සහ පැතිරීම වළක්වා ගැනීමට, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පහත සඳහන් දැඩි ක්‍රියාමාර්ග සහ කටයුතු තහනම් කර ඇත: කොට්ඨාස භාර පශු වෛද්‍ය නිලධාරිවරයාගේ අවසර පත්‍රයක් නොමැතිව, අවදානම් සහිත ඌරන්, ඌරු මස්, සහ රෝග කාරකයෙන් අපවිත්‍ර වූ කිසිවක් අවදානම් ප්‍රදේශය තුළ හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම හෝ රැගෙන යාම තහනම් කර ඇත. බලපත්‍රයක් නොමැති ඌරන් මස් පිණිස ඝාතනය කිරීම තහනම් වේ. බලයලත් නිලධාරියෙකුගේ අවසරයකින් තොරව ඌරන්, ඌරු මස් සහ රෝග කාරකයෙන් අපවිත්‍ර වූ කිසිවක් විකිණීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම තහනම් කර ඇත.රෝගය වැළඳී මියගිය හෝ ආසාදිත යැයි සැක කරන සතුන්ගේ මළකුණු හෝ කොටස්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට අනුව මිස, ජලය සම්බන්ධ කිසිඳු ස්ථානයකට හෝ වෙනත් සතුන්ට ගෙන යා හැකි ස්ථානයකට දැමීම දැඩි ලෙස තහනම් වේ. බලයලත් නිලධාරියෙකු විසින් අනුමත කරන ලද ඝාතකාගාරයක/ගබඩාවක හැර වෙනත් ස්ථානයක ඝාතනය කිරීම හෝ සැකසීම තහනම් කර තිබේ. මෙම දැඩි නීති රීති මඟින් සූකර උණ ව්‍යාප්තිය පාලනය කරගැනීමට බලධාරීහු අපේක්ෂා කරති.