අල්ලස් කොමිසමේ ප්‍රධානියා පනතට අනුව තනතුරට නුසුදුස්සෙක්?

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජ්‍යෙෂ්ඨයෙකු වන නන්දන ගුණතිලක විසින් මෑතක දී කරන ලද ප්‍රකාශයක්, ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතු කර තිබේ. ඔහුගේ ප්‍රකාශයට අනුව, කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්, රංග දිසානායක, අතීතයේ දී ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නීති කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇත. නන්දන ගුණතිලක අවධාරණය කරන්නේ, පක්ෂ ඉතිහාසය පිළිබඳ ඔහු කිසිවිටෙකත් අසත්‍ය ප්‍රකාශ නොකරන බවත්, එම නිසා මෙම ප්‍රකාශය තමා විශ්වාස කරන බවත්ය. මෙම ප්‍රකාශය සත්‍ය වන්නේ නම්, එය අල්ලස් හා දූෂණ විරෝධී ආයතනයක ප්‍රධානියා දේශපාලන පක්ෂයකට සමීප සම්බන්ධයක් දැරීම යන කාරණය නිසා බරපතළ තත්ත්වයක් නිර්මාණය කරයි. අල්ලස් හෝ දූෂණ කොමිසම යනු මෙරට දූෂණය සහ අල්ලස මැඩලීම සඳහා පිහිටුවා ඇති ප්‍රමුඛතම ස්වාධීන ආයතනයකි. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ, එහි නිලධාරීන්, විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා, කිසිදු දේශපාලන බලපෑමකින් තොර ව අපක්ෂපාතී ව කටයුතු කිරීම මතය. යම් පක්ෂයක නීති කමිටුවක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සිටි අයෙක්, පසුකාලීන ව මෙවැනි ප්‍රබල තනතුරක් දැරීම, කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳ අවිශ්වාසයක් සමාජයේ ඇති කිරීමට හේතු විය හැක. අධ්‍යක්ෂ ජනරාල්වරයා දේශපාලන සම්බන්ධතා ඇත්තෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීම, ඔහු විසින් ගනු ලබන ඕනෑම තීරණයක්, විශේෂයෙන්ම විරුද්ධ දේශපාලන පක්ෂවලට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග, දේශපාලන අභිප්‍රායන් මත පදනම් වූවක් ලෙස සමාජය විසින් අර්ථකථනය කිරීමේ අවදානමක් පවතී. ඔහු අතීතයේ නියෝජනය කළ දේශපාලන පක්ෂයට හෝ එහි සාමාජිකයින්ට අදාළ වන විමර්ශනයක් පැමිණි විට, ඔහුට අපක්ෂපාතීව ක්‍රියාත්මක වීම අභියෝගාත්මක විය හැක. දැනටමත් එවැනි අවස්ථා ගණනාවක් සමාජයේ කතාබහට ලක් වී තිබේ. තම දරුවා රජයේ පාසලකට ඇතුලත් කර ගැනීමේ දී සහ විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පවතින චෝදනාව විභාග කිරීමේ දී, ක්‍රියා කළ ආකාරය මෙන්ම ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහි අල්ලස් හෝ දූෂණ කොමිසමට එන පැමිණිලි විභාග කිරීම සම්බන්ධව පවතින ප්‍රමාදය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇති වී තිබීම මීට උදාහරණ ය. විශේෂයෙන් ම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 19 (2) (ඊ) වගන්තිය අනුව 'යම් දේශපාලන ධුරයක් දරන නියෝජිතයකු හෝ ඒ සඳහා තෝරා ගත් නියෝජිතයකු වේනම්; හෝ (උ) වගන්තිය අනුව 'ඒ සඳහා අදාළ වන්නා වූ නීතිවල විධිවිධාන යටතේ පවත්වනු ලබන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ මැතිවරණ, පාර්ලිමේන්තු මහ මැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම් හෝ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වල කාර්ය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක යම් තනතුරක් හෝ සාමාජිකත්වයක් දරන හෝ දරනු ලැබ ඇත්නම්' එවැනි තැනැත්තෙකු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලැබීම සඳහා හෝ එසේ අඛණ්ඩව ක්‍රියා කිරීම සඳහා නුසුදුස්සකු විය යුතුය. යනුවෙන් සඳහන් වේ. ඒ අනුව නීති කමිටුවක් යනු පක්ෂයේ අභ්‍යන්තර ආයතනයකි. එවැනි තනතුරක් දැරීම (අතීතයේ දී පවා) ස්වාධීන ආයතනයක ප්‍රධානියෙකුගේ ආචාරධර්මික යෝග්‍යතාව පිළිබඳ ප්‍රශ්න කරයි.යම් අයෙකුට මෙම තනතුර සඳහා නීතිමය නුසුදුසුකමක් තිබුණේ නම්, ඔහු පත් කිරීමේදී එම තොරතුරු සලකා බැලුවේ නැද්ද? නැතහොත් සඟවා තැබුවේද? මෙමගින් සමස්ත පත්වීම් ක්‍රියාවලියේ විනිවිදභාවය සහ යෝග්‍යතාව පිළිබඳ බරපතළ සැකයක් මතු වේ. මෙය හුදෙක් එක් පුද්ගලයෙකුගේ චරිතය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. දූෂණ විරෝධී ආයතනයක ප්‍රධානියාට එරෙහිව පනතේ ම නුසුදුසුකම් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වීම, එම ආයතනයේ විශ්වසනීයත්වයට සහ මහජනතාව තුළ පවතින අපක්ෂපාතීත්වය පිළිබඳ විශ්වාසයට දැඩි ලෙස හානි කරයි. රංග දිසානායක මහතා, ජවිපෙට එරෙහිව හෝ එහි සාමාජිකයෙකුට එරෙහිව විමර්ශනයක් නොකඩවා පවත්වා ගෙන ගියද, ඔහුට එරෙහිව ඇති නුසුදුසුකම් පිළිබඳ චෝදනාව (සත්‍ය නම්) දේශපාලන වශයෙන් පක්ෂපාතීව කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ අවධානයක් යොමු වීම වැළැක්විය නොහැකිය. අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තනතුර දැරීම සඳහා නීතියෙන් නුසුදුසු පුද්ගලයෙක් ලෙස පත්වීමක් සිදුවී තිබේද යන ප්‍රශ්නය නිර්මාණය වී තිබේ. මෙය රටේ දූෂණ විරෝධී නීති පද්ධතියටම තර්ජනයක් වන බරපතල තත්ත්වයකි. මෙම චෝදනාවේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට සහ බලධාරීන් කඩිනමින් ක්‍රියා කළ යුතු නොවේද?